Thursday, September 5, 2013

අමනාප වැහි බින්දු

අහස් වියන් කුළු පව්වේ
හැපී වැටෙන ලිහිනියනේ
කිපි දැවෙන මන්දාරම
එපා ඉතින් අවුස්සන්න...

සේල ඇඳන් සුර පුරයෙන්
පාරට බට  දෙව්ලියන්ට 
සුළං කෝඩ හරි අගුණයි
පෙම් සිත්තම් හැඩ කරන්න

හීන් සැරේ වත දැවටෙන
සිතල වැහි බින්දු වලට
මගෙත් නෑනේ මනාපයක්
කුඩයත් නැති හැන්දෑවක...

හෙට වෙනුවෙන්

තරු දහක් මැදින් 
නිදි නොමැති නෙතින්
පබැඳුමක් සොයයි 
පන්හිඳේ තුඩින්
මද පවන පවා සොරාකමේ ඇවිත්
අරං ගියා මගේ සුසුම් පවන්....

තරු අතර දිදුලනා
විදුළි එළි පසු කරන්
අදිසි දිසි මාවතේ 
පා නගමි වෙර අරන්
බොහෝ දුර ඇති නමුත් නවාතැන වෙත යන්න
හිත රවටා ගත යුතුය ගතේ වෙර රැක ගන්න....

Sunday, December 16, 2012

නුඹට!



පණ පොවන්න අකුරු වලට  
ඉපදෙන පද දහස් ගනන්...
තිඹිරි ගෙයිම මියැදෙන කළ  
නුඹ ගැන සිත වහන් කරන්...
හැමදාමත් හැන්දෑවට  
බැස යන හිරු දිහා බලන්...
පතමි නුඹට උදාවෙන්න  
හෙට පින්බර උදෑසනක්...

යා යුත



සිතුම් දැහැනක පැටලි මගේ සිත 
නොදන්නෙමි එය පාව ගිය දුර....
සහස් නෙතු යුග දැවටි ගිය මුත් 
මගේ නෙතු යුග අන්ධ විලසින....
සීත වැහි බිඳු දැවටිලා වත  
මතක් කර දුනි වැස්ස ළඟ බව...
සිතුම් රෑනම එක්ව පොදි බැඳ 
හිසට සෙවනක් සොයා යා යුත...

අසංවේදීද?


රලු පරලු වු ගල් කුලක් මත සියුම් කැටයම් ඔප දැමු නුඹ
සුසංවේදී මසිත් පවුරේ ලියු දෑ හට අසංවේදීද...
පසු වදන් මට ඔනේ නැහැ දැන්...
පෙර වදන වරදා ලියු කළ...
ඉසුරුමුණියත් දෙස් නගාවි
නුඹට පිදුවොත් මගේ හදවත...

පද වැල්


ජිවිතේ පන ගැහෙන මොහොතක් 
ගානේ පද වැල් ඇමිනුනි
පන්හිඳට තිත තැබු නිසාවෙන්   
උපන් ගෙයි උන් මියැදුනි
තනිකමට නොව සිතුම් රෑනට 
ඇත පියාපත් දැන් මැවී
නමුදු ගව් දුර පියාඹන්නට 
තවම තටු මගේ සවි නැතී...

තාල


නිහඬ වැස්සේ  
තනී වී සිත් සේ 
තෙමුණා මතකයි හැඟුම් අස්සේ
පාද සළඹේ 
සියුම් ස්වරයේ 
තාල අල්ලා හිත ගැස්සේ
හීන හිස් වේ 
මතක මුහු වේ  
නෙතු අතර බිඳු කඳුලු රැස් වේ

ඉතින් හුස්මක් අරන් ආයෙත් 
වැහි බින්දු මැද නටමි තිස්සේ...