Monday, January 30, 2012

නෙල්ලි සෙවණ





නෙල්ලි කොළ අතරේ හීනීයට පැතිරිලා
රන්වන් පාටක් මුකුලු කරන කොට
මතකය අතරින් මේ සැන්දැවේ 
සිතත් දුවයි ගම් පෑල දොරින්....


සඳුගේ සෙවනැළි හිරුට මුවා වී
කාළය ජිවිත අතර ගලන සැටි
තත්පර අතරේ ගැටෙන දහස් දෙන
අතර සොයයි නුඹ කාසි හුඟක්....


එහෙව් අතීතෙක සිරගත නොකරම
අදත් හෙටත් සෙනෙහෙන් ලංවී ඉමු
ගමට එන්නේ කවදාද කියන් නුඹ
නෙල්ලි ගහත් ලත වෙනවා බලන්...


ආයෙත් සවසක නෙල්ලි සෙවන යට
දොඩමලු වෙමු හිරු බසින සැදෑවක
නුඹටත් දවසක දැනෙයි දෝණියේ
හැඟුම් වටී අතීතයට මෙරක්...






Friday, January 27, 2012

සොඳුරු විරහව



මතක අතරේ සුවඳවත් වෙවි
තාම ඔය හිතේ කොනක මම ඇති...
දුන්නු සෙනෙහස මදිව වෙන්නැති
ඉගිලුනේ මා වෙතින් නුඹ සකි...


අහසට පොළොව දුර වුන හින්දයි සිතිජයේ ඔය හැටි සොඳුරු මැවුම්
ඉවුරට ඉවුරක් ලන් නොවු හින්දයි නදියක සුවහස් මියුරු ගැයුම්
චිතකයේ තියලා මතකය නොදැවුනු හින්දයි මේ හැටි විරහ සුසුම්
හිතට හිතක් අහිමිව ගිය හින්දා නොවෙදෝ සුන්දර සඳැස් කියුම්...





සිරිපා කරුණාව




දුරුත්තේ සීතල ඇවිදින්
හාත්පසම වෙලා ගන්න
අඩ සඳටත් වෙනසක් නෑ
පුලුවන් එය දරාගන්න


සමනොළ ගිර මුදුනින් හෙට 
රන් පාටින් හිරු නැගෙන්න
අහිතක් නෑ ලොකු අයියේ 
අපි යමු සිරිපා වඳින්න...





Thursday, January 26, 2012

බලාපොරොත්තුව


හීන ගේන සිත්  අහසට
දේදුන්නක් වී එනවද
සොරා ගන්න හොර රහසෙම
පාට නොමැති මගේ දිවියට
සිතුවම නුඹමැයි...

අමාවකට ඝන අඳුරට
පහනක් වී දිදුලනවද
කණාමැදිරි එළි අතරේ
අඳුරේ තැවෙන හද මඩළට
සඳවත නුඹමැයි...


තනුව අහිමි කවි පදයට
වස් දඬු රාවය වෙනවද
සප්ත ස්වරයේ රස වියැකුනු
නීරස වු කවි දහසට
තාලය නුඹමැයි....


මතක සුවඳ





දේදුන්න පුරා සත් පාට ඇඳෙන කොට
නුඹේ ඇස් දෙක ළඟ නතර වෙලා
සීතල වැහි බිඳු කොපුලේ වෙලුන හැටි
සේද වලාවට මතක් වෙලා

හැඩකාර කොපුල් මනලෝල දෙතොල්
ඉඟිපාන සිනාවට වශි වෙලා
දඟකාර නුවන් පෙම් දමින් බැඳුනු හැටි
ආයෙත් කඳුළක් අලුත් කළා

අද ඈත දුරක් නොකියාම ගිහින්
නුඹ හිටියාට මවෙතින් දුරස් වෙලා
සීත සොහොන් කොත දැවටුන සුවඳක්
නොදැනීම හදවත සසල කළා...


සොඳුරු මතක




ඈත දුර සුදු ළවැල්ලෙන් සැදී
පුන්චි අඩි පාරේ
සොඳුරු මතක පොත පිටු අතරින් 
අපි ඇවිද යමුද ආයේ...


කියුඹු ලතා වැල් සුළඟට එක් කර
රහස් මිමිනු කාලේ
හැඟුමක පැහැයක් තවරා 
නෙත් විල හදවත සැලි ආලේ


ගම ආ මුත් අද ආගන්තුක වී
හදවත යළි පෑරේ
අපි අපේම වුන භවයක හමු වෙමු
දිගයිනේ සංසාරේ





මං මුලා වු සිහිනය





ඝන අඳුර මැද දැවටි දැවටී
පෙම් කවක් පුර සඳට ලියමි
මං මුලා වු සිතුම් වපුරා
පද වැලක් තුළ නුඹව සොයමි


තරු රැසින් පිරි පාලු අහසේ
කඳුලු වැල් පොදි ගැසෙයි රිසි සේ
මේ සුසුම් රැල් එකට අමුණා
ළබැඳි තනුවක් මැවෙයි රහසේ


දිවා රෑ නිදි නොමැති දෙනෙතේ
අහස් දුර ගව් සිහින නොම වේ
නෙතට නෙත මුණ ගැසෙන මොහොතක්
සොයා තප්පර කටුව කැරකේ....





වසත් සුවඳ



සුදු වැලි මත්තේ සෙවනැලි ඇන්දට
හිරු බැස යන්න ළඟයි
සෙවනැළි අතරෙම අඳුරට එක් වී
සමු ගෙන යන්න දුකයි


අහස් ගං දියේ තරු කැට වැටිලා
ඇහිඳන් එන්න හිතයි
සයුරට හැකිමුත් අහස සිඹින්නට
ඔබ, මට සිතිජේ දුරයි


ආසා ඇතිමුත් තුරුලේ වෙලෙන්නට
වසන්තේ ළඟක නොවෙයි
අහිමි වුවත් සිත නුඹගෙන් නොමිදී
සෙනෙහස දෝරේ ගලයි...



සමන් මල


පාලු සිත් විල එකලු කෙරුමට
හිතලුවක වී රැඳෙන්න
කුමුදු මලකට නොහැක සකි සඳ
බඹර තුඩ විස දරන්න
දෙලොව අතරක අතරමන් වී
කඳුළු උල්පත් දොවන්න
නුඹේ ලෙන්ගතු සිනා අරගෙන
එපා කුටියට වඩින්න

සීත පිනි දිය, පිච්ච පෙති
සඳ එළිය මැද දිදුලවන්න
කණට කොඳුරා සියුම් රාවෙන්
අතිර සිතුවිළි බිඳින්න
පිච්ච සුවඳට හැකිද රැයකට
තවත් සීමා බඳින්න
හිරු නැගෙන්නට පලමු සිසිලස
සොරා ගෙන නුඹ පිපෙන්න...


කණාටු ගස



කණාටු ගසක් මුත්
හරිත පොදකුත් නැති
කියන්නට බොහෝ දේ
උන්ගේ හිත් තුළ ඇති
අසන්නට කිසිවෙකුත්
ළඟ පාත නොමරැඳෙති
නිහඬවම බලා සිට
උන් පොලව සිප ගනිති


අතු පතර එකින් එක
කොල හැළි වැටෙද්දී
විරාජිත අභිනයන්
සැඩ සුළඟේ බිඳෙද්දී
සොයයි කණාටු ගස
මරණ බිය දැනෙද්දී
පමා වැඩියි හරිත පොද
ඔවා නුඹ සොයද්දී...



උපාධි විරුවා

කැළණි නදී
හැඩකාර කෙළි
මධුර හඬින් ගී ගයයි රැළි
බැස යන්න ඉතින්
නොමිනිසුන් මැදින්
ලුනු රසැති වුවත් 
මහ සයුර බලා...

බෝ සමිඳු සෙනේ
හිත නිවයි සැනේ
වැළි මලුව දිගේ සිල් සුවඳ දැනේ
පිය මනිමු ඉතින්
පුහුදුනන් ලෙසින්
කළ පව් සේදෙන
පුණ්‍ය බිමේ...

සරසවිය පුරා
හද රුහිර හෙලා
දෙපිළ බෙදී හිත් නොහොඳ වෙලා
බබලවමු ඉතින්
කල්‍යාණි නමින්
පව් සෝදා ගත් උපාධි
විරුවෙක්...



අහිමි සෙනෙහස


සිතිජ ඉම මායිමේ 
රත් පාට තැවරිලා
සුනිල දිය තිර පටත්
ඉර මලින් සේදිලා

හුරු පුරුදු සෙනෙහසක්
අතීතෙට ඈඳිලා
සිත පිරුනු ලෝබයක්
වේදනා මුසු කළා

නුඹ වගේම මමත්
ඇඟිල්ලක දැවටිලා
පියමැන්නා දෝණියේ
සිඟිති බහ තෝරලා 

මුහුදට අහිමි කිරි කවඩි
වෙරලේ තියා
රළ පෙළ ඇදෙයි ආයෙත්
මහ සයුර බලා
දුවකට අහිමි පිය සෙනෙහස
තුරුලේ හොවා
දුම් වැල් ඇදුනි චිතකෙන්
නිල් අහස කරා....


ජිවිතාවබෝධය



දහස් කඩ ඉම් හඹා පසු කර
ගියත් මිනිසා තවත් ඔබ්බට
ලබා ගත් දෑ අරුත් සුන් බව
වටහා ගන්නේ නැත කිසිම විට


මේ සොඳුරු නවාතැන
සංසාර ගමනේ ලද 
එක් නිමෙෂේක පමණ
සබඳ, මා සහෘදය
කඳුල අතහැර එන්න
ජිවිතය විඳගන්න
දහම් පදයක් අසා
බුදු බණින් සැනසෙන්න...