Sunday, December 16, 2012

නුඹට!



පණ පොවන්න අකුරු වලට  
ඉපදෙන පද දහස් ගනන්...
තිඹිරි ගෙයිම මියැදෙන කළ  
නුඹ ගැන සිත වහන් කරන්...
හැමදාමත් හැන්දෑවට  
බැස යන හිරු දිහා බලන්...
පතමි නුඹට උදාවෙන්න  
හෙට පින්බර උදෑසනක්...

යා යුත



සිතුම් දැහැනක පැටලි මගේ සිත 
නොදන්නෙමි එය පාව ගිය දුර....
සහස් නෙතු යුග දැවටි ගිය මුත් 
මගේ නෙතු යුග අන්ධ විලසින....
සීත වැහි බිඳු දැවටිලා වත  
මතක් කර දුනි වැස්ස ළඟ බව...
සිතුම් රෑනම එක්ව පොදි බැඳ 
හිසට සෙවනක් සොයා යා යුත...

අසංවේදීද?


රලු පරලු වු ගල් කුලක් මත සියුම් කැටයම් ඔප දැමු නුඹ
සුසංවේදී මසිත් පවුරේ ලියු දෑ හට අසංවේදීද...
පසු වදන් මට ඔනේ නැහැ දැන්...
පෙර වදන වරදා ලියු කළ...
ඉසුරුමුණියත් දෙස් නගාවි
නුඹට පිදුවොත් මගේ හදවත...

පද වැල්


ජිවිතේ පන ගැහෙන මොහොතක් 
ගානේ පද වැල් ඇමිනුනි
පන්හිඳට තිත තැබු නිසාවෙන්   
උපන් ගෙයි උන් මියැදුනි
තනිකමට නොව සිතුම් රෑනට 
ඇත පියාපත් දැන් මැවී
නමුදු ගව් දුර පියාඹන්නට 
තවම තටු මගේ සවි නැතී...

තාල


නිහඬ වැස්සේ  
තනී වී සිත් සේ 
තෙමුණා මතකයි හැඟුම් අස්සේ
පාද සළඹේ 
සියුම් ස්වරයේ 
තාල අල්ලා හිත ගැස්සේ
හීන හිස් වේ 
මතක මුහු වේ  
නෙතු අතර බිඳු කඳුලු රැස් වේ

ඉතින් හුස්මක් අරන් ආයෙත් 
වැහි බින්දු මැද නටමි තිස්සේ...

සිතුවිළි


සිත් ඉමේ අහස් ගව්වේ
සුළං කපොල්ලේ
සිතුවිළි ගසා යාවි උඩු සුළඟේ...
හැඟුම් මුසුවේ සුවඳ අතරේ
වලාකුල් වියනේ
සැතපේ සුවෙන් දිගු සිහිනේ...
රහස් ගොනුවේ නිහැඬි තනුවේ
කවුද වෙණ වැයුවේ
ස්වප්න මායාවේ නෙත් රිදුන මොහොතේ....

රැහැයියනේ


හීන නිශාන්තයේ
ඉකි බිඳින රැහැයියනේ...
සිවුරුහන් ලන ගං දියේ
සේයා රැඳේ.. සුපැහැදිලි සඳේ
තරු දහක් ඉතින් කේලමක් කියා
කොනින් කොනට හිත රිදනු ඇති...
ඉකි බිඳිනු එපා... හිරු නැගෙනු ඇති
පෙර අහස් දිගින්..ඝන අඳුර නසා...
දිවි අරුත්බරින්... සනසවනු නියා...
පෙම කවක් ගයා මේ රුදුරු රැයේ
හද සුපහන් කරවනු රැහැයියනේ...!!!

පහන් සිළ


සුළඟේ වෙළෙයි සෙමින් නටයි
පහන් සිළ දැවෙයි
මඳ පවන සමග දබරේ වෙළි
පහන් සිළ නටයි...

බොහොම චංචලයි …. 
මොහොතකට නිසසලයි...
ඒ නිසංසලේ ගෙවෙන හැඟුම… 
හරිම පිං බරයි!

වඳිමි ස්වර්ණමාලි සෑ රජ



අහස් කුළු සිප දහස් දන වෙත ගුණ සුවඳ බෙදනා
ස්වර්ණමාලියේ ඔබේ සෙවන ළඟ හිතට සුවය දැනුනා
එදත් අදත්, තව කල්ප කාළයක් අනුරපුරයේ යෙහෙනා
වැජඹෙන්න තව විරාජමානව බුද්ධ ස්වරය මතුරා

කල්ප විනාසය සිදුවන දවසට සියලු තැන්හි වසනා
මහත් අනුහසින් අසිරිමත් ලෙසින් දෙවියන් රැක ගන්නා
ගෞතම බුදු සසුනේ මහ රහතුන් අදිටන් කොට තිබෙනා
ධාතු මණ්ඩලය එක්තැන් වන්නේ මෙතැනට බව කියනා

ස්වර්ණමාලි සෑ ධාතු ගර්භයෙන් තවත් සොඳින් ඇසෙනා
දහස් ගණන් මහ රහත් තෙරුන්ගේ පිරිත් ස්වරය අගනා
බුද්ධ නෙතින් මතු අනාගතේ දැක ලක් දිව හෙළ දෙරණා
රැක ගන්නට කිව් මහා ථුප රජ වඳිනෙමි හද බැතිනා!

පැතුම



රිදවන සිතුවිළි හිරි වැටිලා
කඳුළින් දෙනුවන් ඇත පිරිලා
අත් වැල් පටලන් ඇවිදන් යන්නට
එනවද හීනෙක ඉඟි කරලා.....
හීනෙන් හීනෙට තුරුලු වෙලා..
වසන්ත මල් කොඳ උමතු වෙලා...
සෙනෙහෙන් උනුසුමේ දැවටි ඉන්නට
දහසක් පැතුමන් ඉඳියි බලා!

මතුර



මධුර රෑ සඳ කැලුම් 
කවුලු පියනින් වඩින
ගතු කියා නිදි වරයි 
නෙත් පියන් අතර හිඳ
පාලු සිත් දනව්වේ 
අතරමං වී සිටින
හීනයක් දඟ කරයි 
පන් හිඳේ තුඩ අගින

උදෑසන සෙත් මතුර 
සේ ලොවක් නිවාලන
සුබ නිමිති නැති මුත් 
ජිවිතේ මග රැදුන
වෙර දරමි අරවින්දයක් 
වී හෙට පිපෙන
අහස් කුස පුරාවට 
සුවඳ මුසු කර හරින...

සබඳේ ඇයි


සිතුම් පෑරේ මේ වසන්තේ
නපුරු වී ඇයිදෝ
සඳවත ගිනි ගෙන
තරු දැවෙන්නේ
වසත් සුවඳ ගිලිහි 
සිතුවිළි සොවින් ගී ගයන්නේ...
රුදුරු වී සබඳේ ඇයි මා රිදවලා
මෙලෙස පිටව යන්නේ....
නපුරු වු වසන්තේ
නුඹ නමට ගී ගයන්නේ...