Sunday, December 16, 2012

සිතුවිළි


සිත් ඉමේ අහස් ගව්වේ
සුළං කපොල්ලේ
සිතුවිළි ගසා යාවි උඩු සුළඟේ...
හැඟුම් මුසුවේ සුවඳ අතරේ
වලාකුල් වියනේ
සැතපේ සුවෙන් දිගු සිහිනේ...
රහස් ගොනුවේ නිහැඬි තනුවේ
කවුද වෙණ වැයුවේ
ස්වප්න මායාවේ නෙත් රිදුන මොහොතේ....

රැහැයියනේ


හීන නිශාන්තයේ
ඉකි බිඳින රැහැයියනේ...
සිවුරුහන් ලන ගං දියේ
සේයා රැඳේ.. සුපැහැදිලි සඳේ
තරු දහක් ඉතින් කේලමක් කියා
කොනින් කොනට හිත රිදනු ඇති...
ඉකි බිඳිනු එපා... හිරු නැගෙනු ඇති
පෙර අහස් දිගින්..ඝන අඳුර නසා...
දිවි අරුත්බරින්... සනසවනු නියා...
පෙම කවක් ගයා මේ රුදුරු රැයේ
හද සුපහන් කරවනු රැහැයියනේ...!!!

පහන් සිළ


සුළඟේ වෙළෙයි සෙමින් නටයි
පහන් සිළ දැවෙයි
මඳ පවන සමග දබරේ වෙළි
පහන් සිළ නටයි...

බොහොම චංචලයි …. 
මොහොතකට නිසසලයි...
ඒ නිසංසලේ ගෙවෙන හැඟුම… 
හරිම පිං බරයි!

වඳිමි ස්වර්ණමාලි සෑ රජ



අහස් කුළු සිප දහස් දන වෙත ගුණ සුවඳ බෙදනා
ස්වර්ණමාලියේ ඔබේ සෙවන ළඟ හිතට සුවය දැනුනා
එදත් අදත්, තව කල්ප කාළයක් අනුරපුරයේ යෙහෙනා
වැජඹෙන්න තව විරාජමානව බුද්ධ ස්වරය මතුරා

කල්ප විනාසය සිදුවන දවසට සියලු තැන්හි වසනා
මහත් අනුහසින් අසිරිමත් ලෙසින් දෙවියන් රැක ගන්නා
ගෞතම බුදු සසුනේ මහ රහතුන් අදිටන් කොට තිබෙනා
ධාතු මණ්ඩලය එක්තැන් වන්නේ මෙතැනට බව කියනා

ස්වර්ණමාලි සෑ ධාතු ගර්භයෙන් තවත් සොඳින් ඇසෙනා
දහස් ගණන් මහ රහත් තෙරුන්ගේ පිරිත් ස්වරය අගනා
බුද්ධ නෙතින් මතු අනාගතේ දැක ලක් දිව හෙළ දෙරණා
රැක ගන්නට කිව් මහා ථුප රජ වඳිනෙමි හද බැතිනා!

පැතුම



රිදවන සිතුවිළි හිරි වැටිලා
කඳුළින් දෙනුවන් ඇත පිරිලා
අත් වැල් පටලන් ඇවිදන් යන්නට
එනවද හීනෙක ඉඟි කරලා.....
හීනෙන් හීනෙට තුරුලු වෙලා..
වසන්ත මල් කොඳ උමතු වෙලා...
සෙනෙහෙන් උනුසුමේ දැවටි ඉන්නට
දහසක් පැතුමන් ඉඳියි බලා!

මතුර



මධුර රෑ සඳ කැලුම් 
කවුලු පියනින් වඩින
ගතු කියා නිදි වරයි 
නෙත් පියන් අතර හිඳ
පාලු සිත් දනව්වේ 
අතරමං වී සිටින
හීනයක් දඟ කරයි 
පන් හිඳේ තුඩ අගින

උදෑසන සෙත් මතුර 
සේ ලොවක් නිවාලන
සුබ නිමිති නැති මුත් 
ජිවිතේ මග රැදුන
වෙර දරමි අරවින්දයක් 
වී හෙට පිපෙන
අහස් කුස පුරාවට 
සුවඳ මුසු කර හරින...

සබඳේ ඇයි


සිතුම් පෑරේ මේ වසන්තේ
නපුරු වී ඇයිදෝ
සඳවත ගිනි ගෙන
තරු දැවෙන්නේ
වසත් සුවඳ ගිලිහි 
සිතුවිළි සොවින් ගී ගයන්නේ...
රුදුරු වී සබඳේ ඇයි මා රිදවලා
මෙලෙස පිටව යන්නේ....
නපුරු වු වසන්තේ
නුඹ නමට ගී ගයන්නේ...